Sunday, October 23, 2011

Lend me your ears ... !

අහන් ඉන්න ... අහගෙන ඉන්න  ... ගැන එක් හිතක් ලියු දේ හා සබැඳිව ... ඒ අදහස් වලට එකතුවක් විදියටත්, හිතේ ගැඹුරටම ගිය මේ ගීය ගැන මට හිතෙන දේ දිගහැරුමක් විදියටත්, සහ .. සුදු සැරයටි දිනයෙන් පසුව මේ සතිය තුළ මා දුටු හා විඳි දේ ගැන තබන යම් සටහනක් විදියටත් "තරු කැට අහුර" ට මං මේ ලියන්නේ පුදුම තෘප්තියකින් .. ඉතින් මටත් මේ සින්දුව මුලින්ම අහන්න සැලැස්වුවෙ මගේ කැම්පස් එකේ 99 route එකේ යාලුවෙක්.


කොච්චරනම් පැතිකඩවල් ඇත්ද අපට මේ සින්දුව දිහා බලන්න ... නමුත්  ඇස් දෙක මොහොතකට හිත මතට අරගන්න කියන එකයි ඇගේ ආයාචනය වුණේ. හැබැයි 'බලන්න' කියනවා වෙනුවට 'අහන්න.. හිත පත්ලෙන්ම අහන් ඉන්න..' කියල ඉල්ලා සිටින්නට අන්ධ ඇය පරිස්සම් වෙලා නේද ? ඇත්තටමනම් වෛද්‍ය සෝමලතා හේරත් මැණිකේ අතින් තමයි පද වැල ගෙතුණේ. ඒ 'මිනිස් පහස' (Human Touch) කියන, විශේෂ අවශ්‍යතා හා විශේෂ දක්ෂතා සහිත මේ අය වෙනුවෙන්ම නලින්ද ප්‍රේමරත්නයන් විසින් අධ්‍යක්ෂණය වුණු නාටකයේ තේමා ගීතය වෙනුවෙන්ලු...

නමුත් මම කියනවා, දැන්නම් එහි කතුවරිය මේඛලා ගමගේමයි කියල. ඒකට කවුරුත් තරහ වෙන එකක් නැහැ .. හේතුව, ඒ කියැවෙන්නෙ එයාලගෙම ඇතුලාන්තය ගැන නිසා. යායට තරඟෙට පිපුණට එහෙන් මෙහෙන් මලක, පෙත්තක් දෙපෙත්තක් අඩු වෙලා. ඒක එයාලට තදින්ම දැනෙනවා.. හරියට 'මහා වැසි ඕන නෑ,පුංචි පොදේක සීතලත් සෑහෙනවා, ඇවිත් අනින්න..' වාගේ. ඉතින් ඇය.. දකින අමුතු පැහැයෙ, විඳින සිසිල් කෙනිත්තිල්ලෙ විස්තරය ඇගේ අඳුරු නෙත් හරහා ගංගාවක්ව විත් අපේ නෙත් බොඳ කරවනවා. 
 
ආයෙත් මේඛලා ගයන්නේ, මල් සුවඳින් ඇගේ ලෝකය සිත්තම් කරද්දී.. අපට ඇත්තේ එහි පාට දකින්නට නෙමෙයි, එහි ලස්සන ආග්‍රහණය කරන ඇගේ හුස්මේ ස්වරය අහන් ඉන්න අහගෙන ඉන්න කියලයි. කොහොම නමුත් එයාල දන්නවා, පෙනෙන අප කෙසේ වෙතත්, ඔවුන් අසලින් හමා යන සිහින් පවන් රැල්ල හෝ ඔවුනට සවන් දෙන බව. මහාමෙරක් වෙච්ච, පිදිය හැකි.. ලැබිය හැකි.. සෙනෙහස කියල දෙයක් මේ ලෝකෙ තියෙනවනම්, ඉන් බිඳක් හෝ සොයනවා මිසක්.. දුක ඕනෑම නෑය කියල, ඒ පවන ඔවුනට පෙරලා කොඳුරනවලු..

මේ ගීයේ අන්තිමටම
මේඛලා කියන්න හදන්නෙ මොකක්ද?
"අමාවකෙත් තරු කැටනම් දහසක් අහසේ ඇති..
තරු ඔක්කොම උණත් ඔයාල දකීවි..ඒ එළිය ඔයාලගෙ නම්..
ඒ පුංචි එළියෙන් බැබළෙන ලෝකය අපේ වේවි.. ඒත්,
තරු පිපෙන ලෝකය රාත්‍රියනේ..
අපට අයිති ඒ රාත්‍රියද?
අඳුරයි අපේ ලෝකය.."
ද ?

මේ සිතුවිලි වල ස්වරය දන්නෙ ඇයම තමයි..
නමුත් ඒ එක්තරා ආකාරයක පසුතැවිල්ලක්.. හිතේ බලාපොරොත්තු ගොඩක්.. ඒකයි ඇය මේ අන්ධකාර ලෝකය ප්‍රතික්ෂේප කරමින්, දෙනෙතින් අප විඳින එළිය අයදමින් 'අපේ ඇස් යට නටන.. පාට බිඳුවක් ඉල්ලන්නේ..




ඉතින්.. තරුත් මදි, නැග බැස යන තරිඳු හා රවිඳුත් මදි.. ඒ අමුතු මුදු පෙති සදා පතන්නේ, හිත් පිත් ඇති අපේ ආදරණීය ලෙන්ගතු කමයි.. එහෙම වෙද්දී පුංචිම පුංචි හසරැල්ලක් මතු කරවල හරි ඔවුන්ගේ දුක පසුබස්වන්නෙ කොහොමද කියල විපරම් කරමින් ඉඳිද්දි තමයි අපේ කැම්පස් එකේ සිංහ සමාජයේ කට්ටිය (UOM-Leos), රත්මලානෙ අන්ධ විද්‍යාලෙ පහු වුණු 21 වෙනිදා සැලසුම් කරගත්ත වැඩසටහනකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබුනෙ. එදා හවස හෝරා කීපයක් ඒ පොඩි කට්ටිය එක්ක අපි විනෝදෙන් ගත කළා. සංවිධායක කමිටුවට ස්තූතියි..ගොඩක් ඒ වටින වැඩේට. 'melodies of  braille' කියල ඒක නම් කරලා තිබ්බ. අපව නොදුටු ඒ පුංචි අයගේ විශේෂ දක්ෂතා අප දුටුවා..ඒවා අගයනු පවා ලැබුවා. ඔවුන් හරියට.. පෙනෙන නොපෙනෙන ලෝක අතර පරතරයක් දෙකලම නැහැ වගේ ඒ මොහොතෙ සතුටින් හැසිරුණා. පුදුම තරම් සංවේදියි මේ අත්දැකීම.. හොඳම උදාහරණය අකිල මල්ලිගේ 'උන්මාද සිතුවම් මැවේ බිඳේ'.. අහද්දී ඇස් තෙත් නොවිච්ච කෙනෙක් නැති වෙච්ච එක. ඒ මල්ලිව විතරක් නෙවෙයි තව, අඳුරෙන් දිලෙන්නට වෙර දරන අලුත් ගායකයො ඉස්සරහට ඔයාලට හම්බ වේවි, අන්ධ එයාලගේ අලුත් තරු වැඩසටහනක් හරහා.. ඒ ගැන කිවේ එයාලගේ සර්. ඉන් පස්සේ මේ අය ගැන මීට වඩා කතාබහ කරාවි නිසැකවම.. එත් එක්කම බලන්න මේ අනික් මල්ලිව මතකද කියල .. අපි දැකපු, 'බලල ඉවර වෙලා.. මටත් දෙනවද ?' කියල අහන video එකේ ඉන්න මල්ලි කියලයි හිතෙන්නෙ. යාළුවො කිව්වා එයාගේ නම ප්‍රකාශ් කියල.




රසවත්ම වැකිය නිමාවටත් කලු තිතක් තියෙනවලුනේ.. මේත් එක්ක මමත් මේ සටහනේ නිමාවට එනවා..
කතන්දරය ගැන හිතන්න.. හිතල බලන්න..
ero..






facebook link
http://www.facebook.com/TheatreInAction
අහන ඉන්න අහගෙන ඉන්න mp3 free download කරගන්න 
http://beemp3.com/download.php?file=10438504&song=Ahan+Inna+Ahagena+Inna
you tube link
http://www.youtube.com/watch?v=yjHi7RSGeIk

No comments:

Post a Comment