Friday, October 7, 2011

අහස් අසිරි.........

                                     
                                                               ලෝකේ රොටියක් වගේද..එහෙමත් නැත්නම් දොඩම් ගෙඩියක් වගේද? සියවස් ගණනකට පෙර මෙය පෘතුවිවාසී වැද්දන්ට උභතෝකෝටික ගැටලුවක් වුවද,වත්මන් විදු ඇසට පින් සිදු වන්නට එය තවදුරටත් කාහටවත් ගැටලුවක් නොවේ.
                                                              ඇතැම් විටක අප කුරිරු ලොවක ජීවත්වන්නාක් මෙන් මට මෙන්ම ඔබටද දැනෙනවා විය හැක.එහෙත් සැබෑම සත්‍ය නම් කුරිරු ලෝකය නොව,මිනිසුන් යන වගයි.මිනිසුන්ගේ පාලනයට ලෝකය නතු වී  ඇත.එබැවින් ලෝකය යනු මිනිසුන් ලෙසින්ද,මිනිසුන් යනු ලෝකය ලෙසින්ද දැකීමට අපි පුරුදු වී සිටිමු.
                                                             සැබැවින්ම ලෝකය පාට පිරුණු රස තැන්නකි.එහෙත් එය නිසි ලෙස පරිහරණය කිරීමට නොදත් මිනිසා එය අපවිත්‍ර තෝතැන්නක් බවට පත් කර ඇත.
                                                             අහසට කෙතරම් රටා මැවිය හැකිදැයි දිනක් මම අහස දෙස බැලූ විට තේරුම් ගත්තෙමි.මේ විශ්වය පුදුමාකාරයි.ගුප්තයි.ඇතැම් විට මිනිසුන්ද අහස හා සමයැයි මට සිතේ.මන්ද තත්පරයෙන් තත්පරය වෙනස් වන බැවිණි.මා එදා දුටු ඒ අහස මට වචනයෙන් විස්තර කළ නොහැක.මන්ද එය විස්තර කිරීමට තරම් මාගේ ශබ්ද කෝෂය පොහොසත් නොවණ බැවිණි.සැබැවින්ම එය විලාසිතා ලෝකයක් වැනිය.පුංචි පුංචි වළා කැබලි,බාගෙට දිලිසෙන තරු,එහෙන් මෙහෙන් පියාඹන පුංචි කුරුල්ලන්,බැසගෙන යන හිරු,නැගීගෙන එන සදු...මේ සියල්ලෙන්ම අහසට අමුතුම අසිරියක් කැන්දාගෙන එයි.
                                                               අහස අහිංසකයි.නමුත් අහිංසක සියල්ලම සෑම විටම අහිංසක නොවන බව සනාථ කරමින් එය විටෙක ප්‍රචණ්ඩ බවක්ද උසුලයි.අහිංසක වුවත්,චන්ඩ වුවත් අහස අහසමයි.අහස දෙස බැලීමට තරම්වත් වාසනාවන්ත නොවූ අපි මේ ලෝකයේ සුන්දරත්වය කෙසේ නම් දකින්නෙමුද?ඉඩක් ලැබුණ විගස අහස යටට යන්න.කුරුලු හඩට කන් දෙන්න.ගස් සෙලවෙන අපූරුව මොහොතක් බලා ඉන්න.මන්ද මාරුතය ඔබේ සිත-කය පිසගෙන හමායන විට දැනෙන සිසිලස විදින්න.විටෙක මහ පොළව මත වේගයෙන් දිව යන්න,විටෙක සෙමෙන් ඇවිද යන්න....
                                                               ඔබ ජීවත් වන බව ඔබට දැනේවි.කාසි කෝටියක් හම්බ කරනවාට වඩා තෘප්තියක් ඔබට දැනේවි.සැබෑ ජීවිතය එයම බව ඔබට පසක් වේවි.එවිට ජීවිතයේ සැබෑ පිවිතුරු ස්වරය සොයා ගැනීමට ඔබට ඉඩ හසර ලැබේවි......

No comments:

Post a Comment